අවිනිශ්චිතතාවය යන ලෝක ධර්මතාවය පසක් කරමින් සති කිහිපයක් තුල කිසිවකු නොසිතූ ලෙස මුළු ලොවම උඩු යටිකුරු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ජීවිත මින් මතුවට මුළුමනින්ම වෙනස් වීමේ ඉඟි පහල වෙමින් පවතී. මේ ලියමනේ අභිමතාර්ථය කොවිඩ්-19 හේතුවෙන් අප සියල්ලගේ ජීවිත වලට බලපාන සැපයුම් දාම කෙරෙහි අවධානය යොමු කිරීමයි.
සැපයුම් දාමයන්හී වැදගත්කම
සැපයුම් දාමයක් යනු යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් එහි මූලික සැපයුම්කරුවාගේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා ගෙන ඒමේ කර්තව්‍යයි. උදාහරණයක් වශයෙන් ඈත වන්නියේ ගොවි මහතකුගේ එළවළු අස්වැන්න කොළඹ 7 පාරිභෝගියකු වෙත ගෙන ඒමෙදි සිදු වන මිල උච්ඡාවචනය සහ නාස්තිය පාලනය කොට සියළු පාර්ශවකරුවන්ට සාධාරණ වාසියක් එක් කරලීම ප්‍රශස්ථ සැපයුම් දාමයක මූලිකාංගයි. බොහෝ දියුණු රටවල දත්ත අනුසාරයෙන් ගොඩ නැගෙන තාක්ෂණික/ඉංජිනේරුමය
විසඳුම් මත සැපයුම් දාම ගොඩ නැගී ඇත. අවාසනාවකට ලංකාවේ සැපයුම් දාමයන් වැඩිමනක් හැඩ ගැසී ඇත්තේ විෂමාකාරී ලෙසය. බොහෝ විට ඒවායේ නිෂ්පාදකයා අඩු ලාභයක් ලබද්දී මැදිහත්කරුවෝ ඉහළ ලාභ උපයති. රටේ කෘෂි සැපයුම් දාමය මීට කදිම නිදසුනකි. ගොවීන් සිය අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකිව ලතවෙද්දී මැදිහත්කරුවන් විශාල ලාභ උපයන අවස්ථා අප ඕනෑ තරම් අසා ඇත. මෙය රටක ප්‍රගමණයට අහිතකරය. ශ්‍රී ලංකාව වර්තමානය වන විට ඉහළ මැදි ආදයම් රටක් ලෙස වර්ගීකරණය කෙරුණද අප රටේ විශාල ආදායම් පරතරයක් ඇති බව නොරහසකි.
කොරෝනා වෛරසයෙන් සැපයුම් දාමයන්ට සිදුවන බලපෑම
අවසානාවකට මෙන් වත්මනෙහි දේශීය මෙන්ම ලෝක සැපයුම් දාමයද දැඩි කම්පනයකට මුහුණ පා ඇති අතර ඒ ඔස්සේ ජනතාව අපහසුතාවයන්ට මුහුණ දෙමින් පවතී. මෙකී අපහසුතාවයන් විධිමත් කෙටි, මධ්‍ය සහ දීර්ඝකාලීන සැපයුම් දාම උපක්‍රම භාවිතා කරමින් විසඳීම අප සැම ඉදිරියේ පවතින තත්කාලීන අභියෝගයයි.
කොවිඩ්-19 වසංගතය හරහා සැපයුම් දාමයේ දෙකොණෙහිම ගැටළු ඇති කොට තිබේ. එක් අන්තයකින් ලෝකයේ රජයන් විසින් පුද්ගල සංසරණය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර නිසා නිෂ්පාදන කර්මාන්තය බලවත් ගැටළුවකට මුහුණ පා ඇත. උදාහරණයක් වශයෙන් ලෝක සැපයුම් දාමයේ මූලික සැපයුම්කරුවකු වන චීනයේ අපනයනයන් ගිය මාසයේදී ගිය වසරට සාපේක්ෂව 17%කින් පහල බැස තිබේ. බොහෝ පිරිසක් නොදැනුවත් නමුත් අප පරිභෝජනය කරන බොහෝ භාණ්ඩවල එක් අංගයක් හෝ චීන සැපයුම්කරුවන් මත රඳා පවතී. එය ගොවිතැනට යොදන පොහොරවල සිට භාණ්ඩයක ඇසුරුම දක්වා විවිධාකාර විය හැකිය. ලොව සෙසු රටවල්ද මේ උවදුරට ගොදුරු වීම හරහා ලෝ පුරා නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි අර්බුධයක් කරා පියනගමින් පවතී. අනෙක් අන්තයෙන් ඇතිව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ජනතාව කලබලකාරී (panic buying) පරිභෝජනයට යොමු වී පවතී. මෙයින් අදහස් වනුයේ ජනතාව ඉවක් බවක් නොමැතිව භාණ්ඩ වැඩි වැඩියෙන් ඒකරාශී කිරීමට (hoarding) යොමු වීමයි. ඒ හරහා සාමාන්‍ය ඉල්ලුමට එහා ගිය ව්‍යාජ ලෙස උත්තේජනය කරන ලද අධික ඉල්ලුමක් නිර්මාණය වෙයි. ඉහත ගැටළු දෙකෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් නිරායාසයෙන් පැන නගී. එබැවින් පාරිභෝගිකයින් ලෙස අප, අවශ්‍ය දේ පමණක් මිලදී ගැනීමට කල්පනාකාරී විය යුතුය. එක් අයෙකු අනවශ්‍ය ලෙස භාණ්ඩ ගොඩ ගසා ගැනීම නිසා තවත් අයෙකුට භාණ්ඩ හිඟයකට මුහුණ පාන්නට සිදුවන අතර ඒ ඔස්සේ රජය මෙන්ම පෞද්ගලික අංශත් අපහසුතාවයට පත් වේ. පවතින් අර්බුදය මධ්‍යයේ පරෝපකාරීව කටයුතු කිරීම පාරිභෝගික සැමගේ යුතුකමකි. යම්හෙයකින් මෙකී ඉල්ලුම් සැපයුම් විෂමතාවයේ ප්‍රතිඵලයක් ලෙස සැපයුම් දාමය බිඳ වැටී භාණ්ඩ හිඟයක් ඇති වීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැක.
මෙම වසංගත තත්ත්වය හමුවේ දේශීය සැපයුම් දාමයේ විෂමතාවයන් ගැන මැසිවිලි වාර්තා වේ. එක් පසෙකින් සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවීන් දුක් විඳින අතර ඇතැම් ප්‍රදේශවලට බඩුභාණ්ඩ බෙදාහැරීමේ ගැටළු පැනනැගී ඇතැයි වාර්තා වෙයි. මේ අතර ජනතාවගේ ඖෂධ සම්බන්ධ ගැටළුද මාධ්‍යයේ වර්තා වෙයි. එදිනෙදා බෙහෙත් මත යැපෙන බෝ නොවන රෝග වලින් පෙලෙන විශාල ජනගහණයක් මෙරට වෙසෙන අතර ඒ අතරින් ඇතැමුන් ශීත දාම (cold chain) ඔස්සේ ගෙන ආ යුතු නිශ්චිත උෂ්ණත්වයන් යටතේ ගබඩා කළ යුතු ඖෂධ මත යැපෙයි. දියවැඩියා රෝගීන් මීට කදිම නිදසුනකි. එබැවින් රටේ ඖෂධ සැපයුම් දාමය විධිමත් ලෙස කළමණාකරණය බොහෝ දෙනෙකුට බලපාන කරුණකි.
ලංකාවේ එදිනෙදා ආදයම් උපයන මිලියන 1.7 මෙන්ම ස්වයං රැකියාවල නිරත මිලියන 2.5 ද සිය ආදායම් ඇනහිටීම හරහා ගැටළුවකට මුහුණ දී සිටින අතර ඇතැමෙක් එදාවේල සරි කරගන්නට කණකර උකස් කිරීමට තල්ලු වී හමාරය. තවත් පිරිසකට බැංකුවේ තැන්පත්කර ඇති ඉතුරුම් යලි ලබාගැනීමට නොහැකි වී ඇත. නමුත් අමිහිරි යථාර්තය හමුවේ සුපුරුදු දෛනික ජීවන රටාවට ජනතාවට අනුගත විය නොහැකි බැවින් ඔවුන් කෙරේ අදාල අංශ දිගින් දිගටම අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්ය.
අඳුරු වළාවේ රිදී රේඛාවන්
මෙකී අර්බුදය හමුවේ අප අඳුරු වළාවේ රිදී රේඛාවන් කෙරෙහි අවධානය යොමු කළ යුතුමය. එක් අංශයකින් මේ අර්බුදය හරහා අපට අපගේ ජීවන ක්‍රමය ගැන යලිත් සිතන්නට ඉඩහසර විවරව ඇත. අපගේ ගමනාගමන තීරණ සහ අපගේ විෂමාකාර සැපයුම් දාමයන් ගැන අලුතින් සිතා නැවුම් විසඳුම් ගෙන ඒමේ විභවය අපට උරුම වී ඇත. මේ වසංගතය හිස එසවන තුරු බොහෝ දෙනා සැපයුම් දාමයන් ගැන කතා කිරීමේදී ජාත්‍යන්තර සැපයුම් දාමය කෙරේ අවධානය යොමු කළා විනා ආනයනය සහ අපනයනයෙන් එහා ගිය දේශීය සැපයුම් දාමය කෙරෙහි අවධානය යොමු කළ අවස්ථා විරලය. එය නිවැරදි කරගෙන දේශීය සැපයුම් දාමයේ අඩුලුහුඬුකම් ක්‍රමාණුකූලව විසඳීම කෙරෙහි ප්‍රමුඛත්වයක් දිය යුතුය.
ගොවි ජනතාවගේ අස්වැන්න නගරයේ ඉල්ලුමට සම්බන්ධ කරමින් විධිමත් සැපයුම් දාමයක් ගොඩ නැගීමේ අවස්ථාව රජයටත් පුද්ගලික අංශයටත් උදා වී ඇත. අන්තර්ජාල සේවා පහසුකම් ප්‍රචලිත කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවන් ලබා දීමට වෙළඳ අංශයට හැකිය. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසකට රැකියා අහිමි වෙද්දී එරට සුපිරි වෙළඳසැල් සිය අන්තර්ජාල සේවාවන් යාවත්කාලීන කිරීම උදෙසා අලුතින් සේවකයන් බඳවා ගත් බව වාර්තා වෙයි. තොරතුරු තාක්ෂණ දැනුමින් පරිපූර්ණ යෞවනය මෙන්ම බෙදාහරින්නන් මෙරට සමාගම් වලට එසේ සිය සේවාවන් විධිමත් කිරීමට යොදා ගත හැකිය. නමුත් එකී කාසියේ අනෙක් පැත්ත නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි. ඇමසන් ආයතනයේ සමාජ දුරස්ථභාවය සහ විශබීජහරණය නිසි ලෙස සිදු නොවන බව පවසමින් එහි සේවකයින් පසුගියදා වර්ජනයකද නිරත විය. ඒ අනුව විධිමත් සෞඛ්‍යමය පහසුකම් ලබාදීම කෙරෙහි ඇති ඉල්ලුමද ඉදිරියේදී ඉහල යනු ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, මැනිං වෙළඳපොල මෙන්ම වෙනත් වෙළඳසැල් කෙරේ මෙකී කෝණයෙන් බැලීම වැදගත්ය.
සිය සේවකයින් සහ පාරිභෝකියන් අතර සම්බන්ධතාවය වඩවඩාත් ඔප් නංවා ගනිමින් සුහුරු සේවා ලබාදීමේ හැකියාව මූල්‍ය අංශයට ඇත. ලෝකයේ ඉහළ යමින් පවතින පුද්ගල ආරක්ෂණ උපාංග ඉල්ලුම (personal
protective equipment) සපුරාලනු කෙරෙහි සෞඛ්‍යාරක්ෂිත විධික්රම අනුගමනය කරමින් කටයුතු කිරීමේ හැකියාව ඇඟලුම් අංශය සතුව ඇත. පවතින තත්ත්වය හමුවේ මෙය ගෘහ කර්මානතයක් ලෙස පවා ප්‍රචලිත කළ හැක. ඒ අතර රජයටත් අනවශ්‍ය ආනයන පාලනය කර දේශීය පරිභෝජනය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් උදා වී ඇත. රටේ වර්තමානයේ පවතින ආර්ථික අකර්මණ්‍යතාවය නිසා රුපියල අවප්‍රමාණය වෙමින් පවතින අතර ඉදිරියේදී අපට ප්‍රබල ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඉඟි පළ වේ. සැමන්, පරිප්පු වැනි ආනයනික භාණ්ඩ කෙරෙහි සහනාධාර ගෙන දෙන ප්‍රතිපත්තියෙන් මිදී දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම රජයේ දේශප්‍රේමී වගකීම වන අතර රටට විදේශයන්ගෙන් එන ඇපල්, මිදි වැනි පළතුරු වල සිට අපට අත්‍යාවශ්‍ය නොවන සියළු දෑ පාලනය කිරීම මේ උවදුරෙන් ශක්තිමත්ව නැගී සිටීමට අත්‍යාවශ්‍යය. මෑතදී හඳුන්වා දුන් සෞභාග්‍යා ව්‍යාපෘතිය මේ සඳහා රුකුල් දෙන ප්‍රශංසනීය පියවරකි. ලෝකය යළි සිය රටට නිෂ්පාදන කර්මාන්ත ගෙන
ඒම (reshoring) කතා කරන මොහොතක අපට කොදෙව් මානසිකත්වයක සිරවී සිටිය නොහැක. අපනයන ආර්ථිකය හැකි අයුරින් යලි පණ ගැන්වීම කළ යුතු නමුත් කොවිඩ්-19 හරහා ස්වයංපෝෂිත, විද්‍යාත්මක
පදනමකින් තැනුනු, සැපයුම් දාමයක වටිනාකම ප්‍රබලව පෙන්වා දී ඇත. ඉන් ඔබ්බට යමින් දැනුම සහ නවෝත්පාදනය පාදක කරගත් සුහුරු ආර්ථිකයක් මුල සිට ගොඩ නගා ලෝකයට සේවා සපයා ආදායම් ඉපයීමේ ක්‍රමවේදයක් ලංකාවේ ගොඩනැගීමට අපට මහඟු අවස්ථාවක් උදා වී ඇත.
බොහෝ යුරෝපීය රටවල සහ ඇමරිකාවේ මෙම වසංගතයේ උච්ඡතම අවධිය තවමත් උදා වී නැතැයි විශේෂඥයින් අනතුරු අඟවන අතර රෝගයේ දෙවැනි සහ තෙවැනි රැල්ලක අවධානම යලි යලිත් අවධාරණය කර සිටියී. එකී වටපිටාවක කල්පනාකාරීව හැසිරී රටේ පවතින සෞඛ්‍යමය අවධානම පරිපාලනය කරන අතරම රටේ ජීවනාලිය බඳු සැපයුම් දාමය පුනර්ජීවනය කිරීමේ අභියෝගය අප සැම හමුවේ ඇත. එහිදී රජය විසින් රටේ සෞඛ්‍යය තත්ත්වයන් විධිමත් පරිදි පාලනය කරන අතර රටේ ජන ජීවිතයට සහ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති නොවන අයුරින් විශේඥ සහය ඇතිව සැපයුම් දාමය බලාත්මක කිරීමේ වගකීම පැවරේ. උදාහරණයක් ලෙස දඹුල්ල, මැනිං
වෙළඳපොල වැනි ආර්ථික මර්මස්ථාන දින කිහිපයක් පමණක් ක්‍රියාත්මක කොට එකී දිනවල ජන ඝනත්වය
වැඩි වීම හරහා ජනතාව අවධානමක හෙලීම වෙනුවට රටේ එක් එක් ප්‍රදේශවල ගොවීන්ට සහ ගැණුම්කරුවන්ට
ඇතුළු වීමට ඇති කාලරාමු නිශ්චය කර සෞඛ්‍යය උපදෙස් අනුව තාවකාලිකව නියාමනය කිරීම හරහා
සියල්ලන්ටම සහන සලසා ආර්ථිකයටද උත්ප්‍රේරණයක් දිය හැකිය. එමෙන්ම, පොල් තෙල්, දියර කිරි,
තුනපහ, සබන්, පවිත්‍රකාරක වැනි එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සෞඛ්‍ය විශේෂඥයින්ගේ
උපදෙස් දැඩිව පිළිපදිමින් නිෂ්පාදනය කිරීම වැදගත්ය. එසේ නොවුනහොත් ඉදිරියේදී එකී භාණ්ඩවල
හිඟයක් මතුවිය හැකි අතර එම සැපයුම් දාමයන්ට රුකුල් දෙන ගොවි මහතුන් ඇතුළු විශාල පිරිසක්
අගතියට පත් වනු ඇත. ඒ අතර පෞද්ගලික අංශයටද මේ අභියෝග ධනාත්මකව භාරගෙන නැවුම් අදහස් මතින් පදනම්ව පෙරටත් වඩා ශක්තිමත් ලෙසින් නව පාරිභෝගික විභවයන්ට අනුගත වෙමින් හැඩ ගැසීමට අවස්ථාව උදා වී ඇත. උදාහරණයක් ලෙස මෙවැනි මොහොතක සියළු සැපයුම් මාර්ග එක මිටට අන්තර්ග්‍රහණය කර පාලනය කෙරෙන omnichannel සැපයුම් දාමයන් ගොඩනැගීම පුද්ගලික අංශයන්ට විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු විශේෂඥ සහය ඇතිව සිදු කළ හැකිය.
ආචාර්ය එච්. නිලැස් පෙරේරා
ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය
ප්‍රවාහන හා සැපයුම් කළමණාකරණ අධ්‍යයනාංශය
ඉංජිනේරු පීඨය
මොරටුව විශ්වවිද්‍යාලය


Dear Niles,
ReplyDeleteGreat post. What a timely article on covid-19 pandemic effects on aspects outside of health care. Really inspired. Looking forward to read more articles from you.
Upuli
Excellent Writing.. Happy to see much important timely article in order to boost every citizen in the country.
ReplyDelete