Wednesday, June 17, 2015

20වන සංශෝධනය: සිදු විය යුත්තේ කුමක්ද?


යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මතවාද මේ වන විට ශ්‍රී ලාංකිකයන් අතරේ මතුවෙමින් පවතී. ඇතැමෙක් යෝජිත සංශෝධන සම්බන්ධයෙන් පරිපූර්ණ අවබෝධයකින් තොරව ඊට සහය දක්වන බවක් පෙනෙන්නට තිබීම අවාසනාවට කරුණකි. හුදෙක් වෙනසක් අරඹයාම වෙනසක් කිරීම නිරර්ථක ක්‍රියාවක් බව පසක් කර දෙමින් මෙකී සටහනට ප්‍රවිශ්ඨයක් ගනු රිසියෙමි. පියවරෙන් පියවර එක් එක් කරුණු විශ්ලේෂණය කිරීමට මත්තෙන් පැවැසිය යුත්තේ මෙම ලියමනෙහි අදිටන ලාංකේය දේශපාලනයේ පතාක පක්ෂයන් දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනවර්ග සංකේන්ද්‍රණය කරගනිමින් ගොඩනැගුණු කුඩා දේශපාලන පක්ෂ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සම්බන්ධයෙන් දරන්නා වූ දෘඪ ස්ථාවරයන් කෙරේ විවේචනත්මාකව කෝණයකින් බැලීම බවයි. මක්නිසාදයත් මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුත්තේ පුරවැසියාගේ අවශ්‍යතාවය පිළිඹිබු වීමට මිස එක් එක් දේශපාලන පක්ෂයන්ගේ පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට නොවන බැවිනි.

වර්තමාන මැතිවරණ ක්‍රමයේ දුර්වලතා

පසුගිය දශක 2 මුළුල්ලේම අද පවතින මැතිවරණ ක්‍රමය නිර්දය ලෙස කොයි කවුරුත් විසින් විවේචණය කිරීම සුලභ කරුණකි. කෝකටත් තෛලය මෙන් සමාජයේ සියළු කළු පැල්ලම්වලට වත්මන් "මැජර" ඡන්ද ක්‍රමයට දොස් කීම අද පුරුද්දක් වී ඇත.

මනාප ක්‍රමය හරහා එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අසමගිකම් ඇතිවීම, අධික ධනස්කන්ධයක් ඇත්තන්ට පමණක් දිස්ත්‍රික්කයක වපසරිය ආවරණය කරමින් මනාප ලබා ගැනීමට හැකිවීම නිසා දේශපාලනඥයින් මුදලට ලොල් වීමත්, අයුතු දෑ හරහා ධනවතුන් වූ පුද්ගලයින් දේශපාලනයට යොමු කිරීමත් ඛේදයකි. තවත් නිතරම අසන්නට ලැබෙන මැසිවිල්ලක් නම් ඇතැම් ආසනවලට වගකියන මන්ත්‍රීවරයකු වත්මන් ක්‍රමය හරහා පත් නොවීමයි.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ක්‍රමයේ වැදගත්ම ලක්ෂණයක් නම් පක්ෂයක් ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට අනුරූප නියෝජනයක් පාර්ලිමේන්තුවේ හිමි වීමයි. කේවල ක්‍රමය යටතේ පවැති 1970 මහ මැතිවරණයේදී 36.86%ක් ලබාගත් ශ්‍රීලනිපය ආසන 91ක් ලබාගනිමින් අතිමහත් බහුතරයක් පාර්ලිමේන්තුවේ ගොඩ නගාගින්ද්දී 37.91%ක වඩාත් විශාල ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්ත් එජාපයට හිමිවන්නේ අසුන් 17ක් පමණකි (ඡන්ද 8.68%ක් ලබාගත් ලංකා සමසමාජ පක්ෂයද එජාපය ඉක්මවා පාර්ලිමේන්තු අසුන් 19ක් ලබාගත් බවද සිහිපත් කළ යුතුය), මෙම විකෘතිය වර්තමාන ඡන්ද ක්‍රමය හරහා අපට දක්නට නොලැබේ. අනෙක් අතට 1977 දක්වා පැවැති කේවල මැතිවරණ ක්‍රමය ඔස්සේ පාර්ලිමේන්තු නියෝජනයට අවස්ථාවක් නොලැබුණු විකල්ප මත දරණ කුඩා දේශපාලන පක්ෂවලට මෙම ක්‍රමය හරහා පාර්ලිමේන්තු ඒමට පාර කැපීම යහපත් ප්‍රවණතාවයක් වුවත් එම පක්ෂ මඟින් ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රාණ ඇපයට ගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. අනෙක් අතට බත් පතට, අරක්කු භගයට, බිත්ති ඔරලෝසුවට, සාරියට, තහඩු කෑල්ලට පමණක් නොව, ජනප්‍රියත්වයට ඡන්ඩය දෙන අමන තත්ත්වයකට රටේ උගත් නූගත් දෙපාර්ශවයම පත්වීමද වර්තමාන මැතිවරණ ක්‍රමය අසාර්ථක වීමට ප්‍රධාන හෙතුවක් බව මගේ හැඟීමයි.

ඉහත ධනාත්මක සහ සෘණාත්මක ගුණාංග සැලකිල්ලට ගනිමින් රටට වඩාත් ඔබින මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව කාගේත් අපේක්ෂාවයි.

යෝජිත සංශෝධනය

සමස්ථයක් ලෙස සෑම දෙශපාලන පක්ෂයක්ම පාහේ කේවල සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයන් මුසු කොට සෑදෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට සහය දක්වතත් එවැන්නක සංයුතිය සහ නියෝජිතයන් තෝරා ගැනීමේ විධික්‍රමය සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නොමැති බව පැහැදිලිය.

එක්සත් ජාතික පක්ෂය යෝජනා කරනුයේ පාර්ලිමේන්තු අසුන් ප්‍රමාණය 225කට සීමා වූ ක්‍රමයකි. එහිඩී කේවල අසුන් 125ක්, දිස්ත්‍රික් අසුන් 75ක් සහ ජාතික මට්ටමේ නියෝජිතයින් 25ක් ඔවුන් යෝජනා කර සිටී. මහජන මුදලින් න්ඩත්තු වන මහජන නියෝජිතයින් ප්‍රමාණය වැඩි නොකර අඩු අගයක පවත්වා ගැනීම වැදගත් බව මාගේ හැඟීමයි, නමුත් වර්තමානයේ මැතිවරණ බල ප්‍රදේශ 160ක් පවතින වටපිටාවක ඒව 125 දක්වා අඩු කිරීම තරමක ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය කරන්නා වූ යෝජනාවක් බව මාගේ අවංක හැඟීමයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය 255 දක්වා වැඩි කිරීම වන අතර, එයද අහිතකර යෝජනාවකැයි මම සිතමි. 1977 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 225 දක්වා වැඩි කරන විට අප රටේ පළාත් සභා තිබුණේ නැත. පාර්ලිමේන්තු අසුන් ගණන 30කින් වැඩි කිරීම හරහා මහජන නියෝජිතයින් නඩත්තුවට සහ ඔවුන්ට ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය විශාල අමතර පිරිවැය දැරීමට සිදු වන්නේද බදු ගෙවන්නන් වන අපටය.

අවසාන වශයෙන් ජනමාධ්‍යයේ වාර්තා කර ඇති අන්දමට ජනාධිපතිතුමා විසින් අනුමත කර ඇත්තේ ආසන 237කින් සමන්විත, කේවල ආසන 145ක්, දිස්ත්‍රික් ආසන 55ක් සහ ජාතික ආසන 37ක් සහිත ක්‍රමයකි. මෙකී යෝජනාවලියට අනුව මන්ත්‍රීවරුන් තෝර පත් කරගැනෙන ක්‍රමවේදය තවමත් 100% පැහැදිලි නැත. ඊට අදාළ ගැසට් පත්‍රය නුදුරේදීම අන්තර්ජාලයට මුදා හැරෙනු ඇත (මේ ලියමන ලියන මොහොතේතී එය අන්තර්ජාලයට නිකුත් වී නොමැත). නමුත් මාධ්‍යය ඔස්සේ වාර්තා වන අන්දමට මෙය ද්විත්ව පත්‍රික ඡන්ද ක්‍රමයක් නොවන අතර, එමඟින් පවතින ක්‍රමයටත් වඩා අවුල් සහගත පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් වුවද බිහි වන්නට පිළිවන.

යෝජිත ක්‍රමයේ අඩුපාඩු

උතුරු නැගෙනහිර හැර සෙසු පළාත් 7හි සියළුම ආසන පාහේ එජාපයත් ශ්‍රීලනිපයත් ජයගනිද්දී කේවල ක්‍රමයෙන් ජවිපෙ, ජාහෙඋ ඇතුළු සුළු පක්ෂවලට අසුන් හිමිවීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එවන් වටපිටාවක ජවිපෙ වැනි කුඩා පක්ෂයක් කෙරෙහි පැහැදීමක් ඇති ඡන්දදායකය ආසනයේ උන්නතිය උදෙසා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි ඉඩකඩක් ඇති අතර එමඟින් සමානුපාතික ක්‍රමය හරහාද කුඩා පක්ෂවල නියෝජනය අඩපණ වෙයි. අනෙක් අතට 1970, 1977 පමනක් නොව 2010 වැනි ජනතා රැල්ලක් එක් පක්ෂයක් කෙරේ ගොනු වූ මොහොතක කේවල ආසන 145න් අතිමහත් බහුතරයක් අදාළ පක්ෂය ලබා ගනු ඇත. එවන් මොහොතක වැඩිම ඡන්ද හිමි කරගන්නා පක්ෂයත් දෙවැනියට වැඩිම ඡන්ද හිමි කරගන්නා පක්ෂයත් අතර ප්‍රතිශතාත්මක වෙනස 5%ක් පමණ වුවත්, කේවල අසුන් වලින් ඔවුන් ලද පිම්ම නිසා පාර්ලිමේන්තුවේ අවසාන සංයුතිය ජනතා අභිලාෂයන් නිරූපණය නොකරන්නක් වෙයි.

තවත් පිරිසක් නගන තර්කයක් නම් මුදලට යටවූ දේශපාලනය යෝජිත 20වන සංශෝධනය සම්මත වීමෙන් ජනතාකරණය වන බවයි. මෙය පුහු තරකයකැයි මම පවසමි.

උදාහරණයක් ලෙස කොලොන්නාව ආසනය ගනිමු. එදා කොළඹ දිස්ත්‍රික්කයෙහිම මැතිවරණ කටයුතු වෙනුවෙන් වියදම් කළ ධනයට සමාන පිරිවැයක් දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා විසින් මෙවර කොලොන්නාව ආසනය පුරාවටම මැතිවරණයටම වියදම් නොකරනු ඇතැයි කාට නම් සහතික විය හැකිද? එවන් වටපිටාවක් තුල ඡන්දදායකයා තමුන්ට මුදල්, බඩු භාණ්ඩ යනාදියෙන් අසීමිතව සංග්‍රහ කරන අපේක්ෂකයකු ප්‍රතික්ෂේප කර මනුදම්ම් පෙරටු දුප්පත් අපේක්ෂකයකු දිනවනු ඇතැයි අපට සිතන්නට පුළුවන්ද?

කේවල ක්‍රමය යළි ස්ථාපනය වීමත් සමඟම පක්ෂ නායකයින් කෙරේ ගුණවත්, නැණවත්, මනුදම් පෙරටු අපේක්ෂකයින් සිය පක්ෂයෙන් එක් එක් ආසනයට ඉදිරිපත් කිරීමේ අභියෝගයක් පැන නගියි. ඔවුන් එසේ නොකළහොත් හෙටත් ජනතාවට අත්විඳින්නට සිදු වනුයේ කුඩුකාරයින්, මිනීමරුවන්, එතනෝල්කාරයින්, මංකොල්ලකරුවන්, මැරයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකි.

මොකද්ද මේ ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය?

ඉහත කී අභියෝගයන් ජයගනු වස් ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු සුළු පක්ෂ විසින් යෝජනා කරනු ලබනුයේ ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයයි. ජර්මනිය, නවසීලන්තය වැනි රටවල සාර්ථකව ක්‍රියාතමක වන මෙකී ක්‍රමය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැනුම්වත් වී නොමැති වීම අවාසනාවන්ත තත්ත්වයකි.

ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය නමින්ම හැඟවෙන පරිදි සිදු වනුයේ ඡන්දදායකයා වෙත ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකා දෙකක් ලබා දීමය. ඉන් එකකින් තමන් නියෝජනය වන්නා වූ මැතිවරණ කොට්ඨාශයට නියෝජිතයකු තෝරා පත්කර ගැනෙන අතර දෙවැන්න දිස්ත්‍රික්/ජාතික මට්ටමින් පක්ෂයක් කෙරෙහි සටහන් කරනු ලබන ඡන්දයකි.

මෙම ක්‍රමය පාඨක ඔබට වඩාත් හොඳින් පැහැදිලි කිරීම උදෙසා උදාහරණයක් ගෙන හැර පෑමට කැමැත්තෙමි. අප කොයි කවුරුත් මැනැවින් හඳුනන, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම මැතිවරණ කොට්ඨාශය වන හෝමාගම සැලැකිල්ලට ගනිමු (20වන සංශෝධනයෙන් පසුව සීමා නිර්ණය කොමිසම විසින් මෙම තත්ත්වය බොහෝ විට වෙනස් කරනු ඇත). හෝමාගම අසුනේ ශ්‍රීලනිප සංවිධායකවරයා ජාතික මට්ටමින් නමක් දිනා සිටින බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය, එජාපයේ සංවිධායකයා ආසනයේ බිම්මූල මට්ටමේ දැවන්ත ජනප්‍රියත්වයක් ගොඩ නගාගෙන සිටින බස්නාහිර පළාත් සභා විපක්ෂනායක මංජු ශ්‍රී අරංගලයි. ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය යටතේ බන්දුල ගුණවර්ධන මහතා කෙරෙහි පැහැදීමක් නොමැති අයෙකුට ආසනයේ නියොජනය සඳහා වන ඡන්දය මංජු ශ්‍රී අරංගල මහතාට ලබා දී දිස්ත්‍රික්/ජාතික ඡන්දය ශ්‍රීලනිපය/එජනිසය වෙත ලබා දිය හැකිය. තවත් උදාහරණයක් ගෙනහැර පාන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කෙරේ පැහැදීමක් ඇති ඡන්දදායකයාට සිය අසුනට ජවිපෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා අසුන ජයගැනීමට නුසුදුස්සෙක් වුවද දිස්ත්‍රික්/ජාතික මට්ටමින් ජවිපෙන් නියෝජිතයකු පත් කර ගැනීමට දායක වීමට අවස්ථාවක් උදා වනු ඇත.

මෙම ක්‍රමය යටතේ දිස්ත්‍රික්/ජාතික මට්ටමින් ඔබ ලබා දෙන ඡන්දයට සමානුපාතික වශයෙන් ආසන ප්‍රමාණයක් අදාල පක්ෂයට හිමිවනු ඇත.

පැහැදිලි කිරීමේ පහසුව උදෙසා පාර්ලිමේන්තුවේ ආසන ගණන 200ක් බවත් රටේ නව මැතිවරණ කොට්ඨාශ ගණන 125ක් ලෙසත් උපකල්පනය කරමු. කොට්ඨාශ මට්ටමින් ආසන 54 බැගින් එජාපයත් ශ්‍රීලනිපයත් ජයගත් බවත්, ආසන කිසිවක් ජවිපෙ ලබා නොගත් බවත්, ද්‍රවිඩ ජාතික සන්ධානය ආසන 10ක් දිනාගත් බවත් මොහොතකට සිතමු.

එය එසේ වුවත් ජාතික මට්ටමේ ඡන්දයෙන් 42%ක් එජාපයටත්, 40%ක් ශ්‍රීලනිපයටත්, 5%ක් ජවිපෙටත්, 4%ක් ද්‍රවිඩ ජාතික සන්ධානයටත් ලැබුණා යැයි උපකල්පනය කරමු. ඊට සමානුපාතිකව සමස්ථ පාර්ලිමේන්තුවේ එජාපයට ආසන 84ක්, ශ්‍රීලනිපයට ආසන 80ක් සහ ජවිපෙට ආසන 10ක්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 8ක් වෙන්කිරීම මෙකී යොජිත ද්විත්ව ඡන්ද ක්‍රමයේ අරමුණයි. එහිදී සමානුපාතිකව පක්ෂයකට පාර්ලිමේන්තුවේ හිමි විය යුතු ආසන ගනනින් කොට්ඨාශ වශයෙන් ඔවුන් ජයගත් ආසන ප්‍රමාණය අඩු කර ලැබෙන අන්තරය දිස්ත්‍රික්/ජාතික ලැයිස්තු මගින් පිරවීමේ අවස්ථාව අදාළ පක්ෂයට හිමි වේ.
උදා: 
එජාපය      -> 84 - 55 = 29
ශ්‍රීලනිපය   -> 80 - 55 = 25
ජවිපෙ       ->  10 - 0 = 10
ද්‍රජාස -> 10 - 8 = -2 (සමානුපාතික නියෝජනයකට උරුමකම් නොකියයි.)
වශයෙන් ඉහත උදාහරණයට අනුලෝමව සමානුපාතික අසුන් බෙදී යා යුතුය.
ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයේ තවත් වාසියක් නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සුළු පක්ෂවල ප්‍රාණ ඇපයෙන් මුදා ගැනීමට හැකි වීමයි.

දිස්ත්‍රික්/ජාතික මට්ටමේ සමානුපාතික නියෝජනය සඳහා දෙවැනි ඡන්ද පත්‍රිකාව හඳුන්වා දීම හරහා සුළු පක්ෂවලට එහි තනිව තරඟ කිරීමට සිදු වනු ඇත. වත්මන් ක්‍රමය යටතේ සුළු පක්ෂවලට ප්‍රධාන පක්ෂ සමඟ කේවල් කර දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත්, ඉන් නොනැවතී ජාතික ලැයිස්තුවේ ආසනවලට හෙට්ටු කිරීමේ අනිසි බලයත් හිමි වී ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයාගේ උර මතින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පාර්ලිමේන්තු ඒම, කොළඹ දිස්ත්‍රික් අහිංසක ශ්‍රීලනිප පාක්ෂිකයාගේ කරපිටින් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ පාර්ලිමේන්තු ඒම මීට ආසන්නතම උදාහරණ ලෙසින් උලුප්පා දැක්විය හැකිය. මෙවැන්නන් තනි පක්ෂයක් ලෙස සිය දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූයේ නම් ඔවුන්ට අසුනක් හිමි වීමේ සම්භාවිතාව අතිශය කුඩා බැව් දේශපාලනිකව සවිඥානික අප සැවොම දනිමු.

ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයේ අවාසීන්ද නැතුවා නොවේ. ප්‍රධාන වශයෙන් මෙම ක්‍රමය ජනතාව අතරට හඳුන්වා දීම අභියෝගයක් වනු ඇත. මෙම ක්‍රමය සම්මත කර ගැනීමට හැකි වුවත්  මීළඟ මහා මැතිවරණය පැරැණි මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්විය යුතුය යන අදහසේ මමද සිටින්නේ එබැවිනි. තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ දිස්ත්‍රික් සහ ජාතික වශයෙන් පාර්ලිමේන්තු අසුන් ප්‍රමාණය නිර්ණය කිරීමයි. ඉහත සඳහන් කරාක් මෙන් දිස්ත්‍රික් සහ ජාතික යන මට්ටම් දෙකින්ම සමානුපාතික නියෝජනයක් ගෙන ඒම ඉන් එක් මට්ටමකින් පමණක් සමානුපාතික නියෝජනයක් හඳුන්වා දීමට වඩා බෙහෙවින්ම අභියෝගාත්මකය. ඒ සියල්ලටම වඩා මා තුල ඇති බිය නම් මෙම ක්‍රමය හරහා අධික බලයක් පක්ෂ නායකයන්ට සහ මහා ලේඛම්වරුන්ට හිමි වීමේ ඇති අවධානමයි. පක්ෂයක් ජයග්‍රහණය කරන්නා වූ සමානුපාතික ආසන සඳහා නියෝජිතයින් පක්ෂ නායකයන් හෝ මහා ලේඛම්වරුන් විසින් පත් කර ගැනෙන්නේ නම් එමගින් දේශපාලන පක්ෂයන්හී අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමක් සිදු වනු ඇති අතර සමානුපාතික නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට විද්වතුන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාධරයින්, වෘත්තීයවේදීන් වෙනුවට එහෙයියන් පත්වීමේ අවධානමක් පවතී. මේ සඳහා ආසන මට්ටමින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගන්නා පරාජිතයින් සමානුපාතික ක්‍රමයෙන් පාර්ලිමේන්තු ගෙන ඒම වැනි වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් හඳුන්වා දීම යෝග්‍යය.

කාගේත් වගකීම

රටේ සෑම දේශපාලන පක්ෂයකටම මේ මොහොතේදී සිය පටු දේශපාලනික ඕනෑ එපාකම් පසෙකලා රටට ඔබින සාධාරණ නියෝජන ක්‍රමයක් හඳුන්වා දීමට වගකීමක් ඇත. එහිදී කාටත් පිළිගත හැකි මිශ්‍ර, ද්විත්ව පත්‍රිකා ඡන්ද ක්‍රමයක් හඳුන්වා දිය යුතුය යන්න මාගේ පුද්ගලික අදහසයි.

පුරවැසියන් ලෙස ශ්‍රී ලාංකික ඡන්දදායකයන් කාටත් පොදුවේ එකඟ විය හැකි මැතිවරණ ක්‍රමයක් ලබා ගැනීම උදෙසා සිය දේශපාලන නියෝජිතයන්ට බල කිරීමට සුදුසුම මොහොත එළැඹ ඇතැයි සනිටුහන් තබමින් නවතිමි.

No comments:

Post a Comment